ආදරයේ යුද්ධය


                 මිනිස්සු ආදරය, ගෞරවය වගේම විශ්වාස වෙනුවෙන් යුද්ධ කරනවා දැකලා තියෙනවද? මේක ආදරණීය යුද්ධයක් නෙවෙයි ආදරය නිසාම ඉපදුනු යුද්ධයක් ගැන කතාවක්.

   මේ දවස්වල හැමෝම දන්න දෙයක් තමයි ඉන්දියාව සහ පාකිස්ථානය අතර දිනෙන් දින උණුසුම්වල යුද්ධය. ඉන්දියාව මේ මෙහෙයුම නම් කරලා තියෙන්නේ සින්දුර් මෙහෙයුම කියලා.  මේ මෙහෙයුමට සින්දුර් කියන නම ආවෙ  නිකන් නෙවෙයි. ඒකටත් ඉන්දියාවට අපූරු හේතුවක් තිබුණා. 

     සින්දුර් ආලේප කරන්නේ විවාහක කාන්තාවන්. ඔවුන්ගේ විවාහකත්වය වගේම ඇයගේ විවාහය ඇය සමඟ පවතින තාක් කල් සින්දුර් පැවතිය යුතු බවයි ඉන්දියාවේ සම්ප්‍රදායික විශ්වාසය වන්නේ. ඇතැම් සම්ප්‍රදායන් තුළ සින්දුර් විවාහ භක්තියේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන පාර්වතී දේවතාවිය සමඟ ද සම්බන්ධ කරලා තියෙනවා. හින්දු ජනප්‍රවාදවලට අනුව සින්දුර්  ශිව දෙවියන්ගේ බිරිඳ වන පාර්වතී විසින් තම සැමියා කෙරෙහි ඇති භක්තිය සහ සෙනෙහස සංකේතවත් කරන්න ඇගේ නළලෙහි තවරාගෙන තියෙනවා. ශිව දෙවියන්ගේ ප්‍රියතම දේ සින්දුර් බවත් මේ නිසා නළලෙහි සින්දූරය තවරාගෙන ඉන්න කාන්තාවන්ට දිගු හා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ශිව දෙවියන් විසින් ලබා දෙන බවත් විශ්වාසයක් තියෙනවා.  ප්‍රේමය කියන්නේ උත්තරීතර බැඳීමක්. විවාහය කියන්නේ ඒ බැඳීම තවත් සුන්දර කරන පොරොන්දුවක්. ඉතින් සින්දුර් කියන්නේ විවාහක පති පතිනි දෙපලටම ඒ පොරොන්දුව මතක් කරන සලකුණක්. ඔපරේෂන් සින්දුර් කියන්නේ ඒ පොරොන්දුව දුන්න ඉන්දියාවේ හැම කාන්තාවක් වෙනුවෙන්ම කරන පලිගැනීමක්.  

  පසුගිය අප්‍රේල් 22 වනදා ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයෙන් කාන්තාවන් බොහෝමයකට තම ස්වාමිපුරුෂයා සදාකාලිකවම අහිමි වුණා. තමන්ගේ ප්‍රේමය විතරක් නෙවේ විවාහයේ සංකේතය වෙච්ච සින්දුර් සදාකාලිකවම මේ කාන්තාවන්ට පළඳින්න නොහැකි උනා. ආගම මොකක් උනත් භාෂාව මොකක් උනත් කිසිම වෙනසක් නැතිව ඝාතනයට ලක් වුනු ස්වාමිපුරුෂයන් වෙනුවෙන් මේ කාන්තාවන්ට සදහටම තනි වෙන්න සිදු වුනා. ඒ විතරක් නෙවේ ඔවුන්ගේ සින්දුරුත් ඔවුන්ට අහිමි උනා. ඉතින් මේ වැන්දඹු කාන්තාවන්ගේ අහිමි වෙච්ච සින්දුර්වල වේදනාව කෝපය තමයි ඔපරේෂන් සින්දුර් නමින් මෙහෙයුමකට පරිවර්තනය වෙලා තියෙන්නේ. 

 ඉන්දියන් මාධ්‍ය වාර්තා කරන විදියට මේ මෙහෙයුමට ඔපරේෂන් සින්දුර් කියන නම තියල තියෙන්නේ ඉන්දීය  අගමැති නරේන්ද්‍ර මෝදියි. දැන් ඔබ හිතන්නේ කාන්තාවකගේ සින්දුර්වලට මේ තරම් වටිනාකමක් තියෙනවද කියල නේද? කාන්තාවක් කියන්නේ සුන්දරත්වයෙන් දේවතාවියකට සමානයි. ඒ වගේම තමයි ඇගේ කෝපය කාලි මෑණියන්ට සමානයි. ඒ කෝපය ඉදිරියේ රටක් නෙවේ සමස්ත ලෝකයක් දණ නමන බවට කිසිම සැකයක් නැහැ. 

මේ පින්තුරේ ඉන්නේ හිමන්ෂි නර්වාල්. එතකොට ඇය ඉදිරියේ මේ නිසලව තියෙන දේහය ඇගේ ස්වාමිපුරුෂයාගේ. ඔහු නාවික හමුදා ලුතිනන්වරයෙක්. ටිකක් හොඳින් බැලුවොත් මේ පින්තුරය ඔබට හඳුනා ගැනීමට අපහසු නොවේවි. මොකද ඒ තරමටම මේ සිදුවීම ඒ දවස්වල සමාජය තුල කතා බවහට ලක්වුණු නිසා. හිමන්ෂි නර්වාල් කියන්නේ සාමාන්‍ය කාන්තාවක් මේ සිදුවීම වෙනකොට ඇය විවාහ වෙලා දවස් හයයි. ජාතිය, ආගම කුලය මොකක් උනත් කාන්තාවකගේ ජිවිතේ සතුටුම දවස විවාහය. ගැහැණු ළමයෙක් පුංචි කාලයේ ඉදන්ම තමන්ගේ විවාහය ගැන හීන බලනවා. ඒ අතරිනුත් තමන් ආදරය කරන කෙනා සමඟම විවාහ වෙන එක සහ ඉන්දියන් චාරිත්‍රවලට අනුව වට හතක ගිහින් ඔහුත් සමඟ ආත්ම හතක එකට ජිවත් වෙන්න පොරොන්දු වෙන එක ගැහැණු දරුවෙකුගේ ජිවිතේ තියෙන ලොකුම හීනය. හිමන්ෂිට ඒ හීනේ හැබෑ කර ගන්න පුළුවන් උනාට ඇයට හිතෙන්නේ නැතුව ඇති ඇගේ පෙම්වතා ළඟ ඇය ඉන්න අවසන් දින කිහිපයත් ඒක කියලා. මධුසමය ගත කරන අලුත විවාපත් මේ යුවල ත්‍රස්තවාදීන් පිරිසකට හසු වෙනවා. ත්‍රස්තවාදීන් විසින් හිමන්ශිගේ ස්වාමියාට වෙඩි තබනවා. ඔබට මේ ජයාරුපයත් අමතකනම් මේ දෙබස මතකද බලන්න. ලේ විලක් මත වැටිලා ඉන්න ස්වාමියා ළඟ දණ ගහගෙන ඇය ත්‍රස්තවාදීන්ගෙන් මෙහෙම අහනවා. ඇයි ඔයාලා මෙහෙම කරන්නෙ. එතකොට ත්‍රස්තවාදීන් කියනවා ඒක ගිහින් උඹලගෙ මෝ|දි|ගෙන් අහපන් කියලා. ඉතින් ඉන්දියාවේ අගමැති මෝදී මේ කතාවට උත්තර දෙනවා. ඒ ඔපරේෂන් සින්දුර් මෙහෙයුමෙන්. ආරංචි වෙච්ච විදිහට ඉන්දීය අගමැතිවරයා ඉන්දීය- පකිස්තාන් මෙහෙයුම ඔපරේෂන් සින්දුර් නමින් නම් කලාට පස්සේ හිමන්ෂි නර්වාල් විසින් මෝදි රජයට ස්තූති කරල තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදය අවසන් කරන්න කියලත් ඇය ඉල්ලීමක් කරලා තියෙනවා. තමන්ගේ සැමියා නොමැතිව මේ ලෝකේ ජිවත් වෙන එක කොයිතරම්නම් අමාරුද එයිනුත් තමන්ගේ සැමියා තමන්ගේ ඇස් ඉදිරිපිටම මිය යනවා දකින්න බිරිඳකට කොයිතරම් නම් අමාරුද?

 

ඉතින් යුද්ධය නිසා එහෙමත් නැත්තන් පකිස්ථානය නිසා සින්දුර් අහිමි වුණ ඉන්දියාවේ වැන්දඹුවන්ගේ පලිගැනීම තමයි ඔපරේෂන් සින්දුර් කියන්නේ. මේ මෙහෙයුමට නායකත්වය දෙන්න ඉන්දියාව විසින් කාන්තා සෙබලියන් දෙදෙනෙකු පත් කරනවා. ඒ කර්නල් සොෆියා කුරේෂි සහ වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං. 

 කාන්තාවන් කියන්නේ දුර්වලයන් නෙවේ. යුද්ධය සාධාරණ සහ අසාධාරණ කරනවට වඩා ඔපරේෂන් සින්දුර් ගැන මට තියෙන්නේ ගෞරවණිය හැඟීමක්. විවිවධ රටවල් විවිධ රජය නායකයන් දේශපාලන, ආර්ථික, සමාජීය අරමුණු වෙනුවෙන් විවිධ තීරණ ගන්නවා. ඒවා ඒ ඒ පාර්ශවයන්ගේ කතාවට අනුව සාධාරණ වෙන්න පුළුවන්. ඒ වගේම යුද්ධය කියන්නේ කවදාවත් සතුටට කරුණක් වෙන්නේ නැහැ. 


හැබැයි ආදරයට අලුත් තේරුමක් දුන්නු ආදරණිය කාන්තාවන් වෙනුවෙන් ලෝකයක් එක්ක සටන් කරන මිශන් ඔපරේෂන් හැම කාන්තාවකටම ගෞරවය බව කිව යුතුමයි.


නයෝමි ශෂිකලා 



සතිය ඇතුලත දවසක්....

          මේ අතරමග කතා තීරුව මං ලියන්නේ ඔයාලට වගේම මගේ හිතටයි. සතියක් කියන්නෙ ලොකු කාලයක්. වෙනදටනම් සතිය ඇතුලත දවසක්, එකහමාරක් විවේක ගන්න මට මේ සතිය කියන්නේ වැඩ අධික කාර්‍යබහුල සතියක් උනා. කොටින්ම කියනවනම් ඒ මහන්සිය ගොඩක්ම දැනුනේ මගේ කකුල්වලට. ඇවිදල ඇවිදල හරිම මහන්සියෙන් ඉන්න මම කොළඹ යන ගමන් නින්දකට වැටිලා මහන්සි නිවා ගන්න තීරනය කලා. ඒත් එක්කම අම්මා කෙනෙකුයි පොඩි දරුවෝ දෙන්නෙකුයි මගේ බස් එකට නැග්ගා. ඒ අම්මා අහනවා කවුද දැන් තාත්තා ලගින් වාඩි වෙන්නේ කවුද මගේ ලගින් වාඩි වෙන්නේ. ලස්සන ගවුමක් ඇදල ඉදපු පුංචි දුව එකපාරටම අත් උස්සල කෑ ගහන්න ගත්තා මමයි කියලා. කවදත් තාත්තලට වැඩිපුරම ආදරේ දුවලනේ එහෙම නේද.  මට මේ කතා බහ ටිකක් විශේශ උනා. ඉස්සර දවසක මගේ අම්මාත් මේ කතාවම ඇහුව. මේ පවුලේ එක කොල්ලයි එක කෙල්ලයි උනාට මගේ පවුලේ කෙල්ලෝ දෙන්නයි එක කොල්ලයි. ඉතින් අපේ අම්මා මෙහෙම අහන හැම වතාවකම තාත්තා ලග ඉදගන්න මටයි නංගිටයි දෙන්නටම ඕනි  වෙනවා.



 ඒත් තාත්තගේ ඔඩොක්කුවේ අපි දෙන්නටම ඉඩ නැහැනේ. ඒ උනාට තාත්තා කවදාවත් අපිට බැහැ කිව්වේ නැහැ ඒවගේ වෙලාවට තාත්තා කරන්නේ ඔලුව අතගාලා මාවයි නංගිවයි දෙන්නවම කකුල් දෙක උඩ තියාගන්න එක. අපිට හරිම සතුටුයි. හැබැයි කවදාවත් පොඩි බයක්වත් දැනෙන්නේ නැහැ. මොකද අපිට තාත්තාව ඒ තරම්ම විශ්වාස නිසා. තාත්තා ජීවත් උනේ මගේ     කතාවෙ පිටු කිහිපයක විතරයි. ඒත් මේ දැන් ලියවෙන පිටුවෙත් තාත්තා ඉන්නවා. ඒ තමයි තාත්තා. ඉතින් තාත්තාගේම පිහිටයි.

නයෝමි ශෂිකලා.


හමුදා සෙබලෙක්.....

 හමුදා සෙබලෙක්.....

      කාලෙකට පස්සෙ එක චිත්‍රපටියක් මගේ හිතේ හොල්මන් කරන්න ගත්තා. කව්දද බලන්න ලැබෙන්නෙ කියල පුදුම විදිහට හෙව්වා. මගේ  ජීවිතේ ඒ තරම්ම ආස කරපු film එකක් තවත් නැහැ. Amaran කවදාවත් නොදැකපු මුගුන්ද් වගේ වීර සෙබලෙක්ගේ සැබෑ ජීවිතය පාදක කර ගනිමින් ලියවුනු මේ සිනමාපටය සෙබලෙක්ගේ ජීවිතයට හොද උදාහරනයක්. සෙබලෙක්ට තමන්ගේ තුවක්කුව තමන්ගේ බිරිද/ පෙම්වතිය වගේ. ඒවගේම සෙබලෙක්ට පලමුව දෙවනුව තෙවනුවත් අවසානයටත් වටින්නේ රට. හැබැයි ඔයාට දැනෙයි කෙනෙක් රටට ආදරය කරන්න නම් තමාටම ආදරය කරල ඉන්න ඕන කියල. එහෙම නේද. හැබැයි රට කියන්නෙත් අපිමනම් තවත් උදාහරණ අවශයද? හිතන්න ඔබට බාරයි.



සෙබල මුගුන්ද් සහ මාමුට්ටි ( ඉන්දු රෙබේකා වර්ගේශ්වර්) එකිනෙකාට ආදරය කරන්න ගන්නවා. ඔවුන් විවාහ වෙනවා. මේ අතර සෙබල මුගුනද් හමුදා සේවයට බැදෙනවා. ඒ අතර ඔවුන්ට ලස්සන දුවක් ඉපදෙනවා. හශු,,  නම තරම්ම ඇය පියකරු දියනියක්. සිනමාපටයේ ඒ කොටස වෙනකන් මම සිනමාපටයේ රසිකයෙක්. හැබැයි එතනින් පස්සේ එක එක ශොට් එකක් ගානේ මමයි අමරන් සිනමාපටයයි එක්කෙනෙක් උනා. ඒ කොහොමද මම මේ කියන කතාව කොච්චර දුරට ගැලපෙනවද කියල ඔයා හිතන්න. මේ කාරනාව නිසාම film එක කීප සැරයකටම නවත්තල කදුලු පිහිදගෙන ඉන්න මට සිද්ධ උනා. දන්නවද හශු තාත්තට ලියුම් ලියනකොට, වීඩියෝ කෝල් ගන්නකොට, ෆෝන් එකෙන් සිංදු කියනකෝට මං මගේ පුංචි කාලෙට ගියා.හශු තරම් පුංචි වයසෙදි මං මගේ තාත්තට ලියුම් ලිව්වා. අකුරු එකට එක ගැටගහල පැන්සලෙන් ලස්සනට ලියල යැවුවා. හැබැයි අකුරු  ලියන්න යන්තම් ඉගෙන ගත්ත ඒ කාලෙ මම ලියපු දේවල් මගේ තාත්තට තේරුනාද කියන්න මං දන්නේ නැහැ. 

ආ ඉස්සෙල්ලම කියන්නම් මං කවුද කියල. මම මීට කලින් ලිව්ව මං කවුද කියල ලිපියක්. ඉතින් ඒක කියවල ඔයාට මාව කැමති විදිහකට හන්දුන්වන්න පුලුවන්. ඒත් මම 2008 ක්‍රියාන්විතයේදී මිය ගිය අභීත සෙබලෙක්ගේ දුව. මම ඉපදෙන්න අම්මට අමාරු වෙද්දි තාත්තා මගේ අම්මා ලග ඉදියේ නැහැ. මම ඉපදිලා මාස ගානක් යනකන් තාත්තට මාව දකින්නවත් මගේ කට හඩ අහන්නවත් ලැබුනේ නැහැ. ඉස්සර අද වගේ නෙවෙයි. ගමටම තියෙන්නෙ එක ෆෝන් එකයි. හැබැයි මම ඉපදිලා මාස කීපයක් යද්දි තාත්තා ගෙදර ඇවිදින්. එදා මං තාත්තාව දැකල නොසෑහෙන්න අඩල තියෙනවා. මොකද කවදාවත් දැකපු නැති මගේ තාත්තාව මට එදා පෙනිල තියෙන්නෙ යකෙක් වගේ. ගෙදර හැම උපන්දිනේ දවසකම අපි බලන් හිටිය තාත්තා එනකං. ඒත් ලොකු වෙද්දි තේරුම් ගියා තාත්තා ඉන්නේ ඉක්මනට එන්න පුලුවන් තැනක නෙවේ කියල. එදා   ඉදන් හැම උපන්දිනේකටම මම ෆෝන් එක රින් වෙනකම් බලා ගෙන් ඉන්නව. සරලවම රෑට තාත්තට ගාතා කියල වදින්නෙත් ෆෝන් එකෙන්. අම්මත් ඒ වගේ තාත්ත ගැන හොයල බලන්න, අනාගතේ සැලසුම් කරන්න එයාලට තිබ්බ එකම දේ කලින් ලියුම් ඊට පස්සේ ෆෝන් එක. 

    හැබැයි මේ සිනමාපටය එදා නොදැකපු දේ මට අද පෙන්නල දුන්නා. ඇත්තටම හශු වගේ මං ගෙදරට වෙලා තාත්තා කවද්ද එන්නේ අම්මේ කියල අහද්දි අයිශු වගේ මගේ අම්මා යෝධ ගැහැනියක් වෙලා තාත්තාවත් මාවත් බලා ගත්තා. ඒ දේ කොච්චර අමාරුද කියල මට දැනුනේ මේ සිනමාපටයෙන්. හදවතට කොයිතරම්නම් සමීප වුනාද කොයිතරම්නම් සංවේදීද ඒක විශිස්ට ගණයේ රංගනයක් කිව්වොත් මම සාධාරනයි. රණවිරුවෙක් කියන්නේ ජීවිතේට ආදරේ නැති කෙනෙක් නෙවේ. රණවිරුවෙක් හැමදාම තමන්ට තමන්ගේ පවුලට ආදරෙයි. ඒත් දන්නවද එයාට පවුලේ කෙනෙක්ගේ අවශයම අවස්තාවක් මග හැරුනත් කවදාවත් රටේ අවශයාතාවයක් මිස් වෙන්නේ නෑ. එයාල අපිට වඩා ඔයාල හැමෝටම ආදරය කරනවා. මොකද රට කියන්නේ ඔයා නෙවෙයි ඔයාල හැමෝම ඒක මතක තියාගන්න.මං ඔයාට හරි ආදරෙයි තාත්තේ. ජීවිතේ කවදාවත් ඇත්තට මට මේ වචන කියාගන්න බැරි උනා. හැබැයි මං මැරෙනකන්ම කියනවා. මං හරි ආදරෙයි.

නයෝමි ශශිකලා






පලවෙනි දවස

අතරමග කතා

පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මුලින්ම විශ්වවිද්‍යාලයට ගිය දවස, රැකියාවකට ගිය පලවෙනි දවස, පලවෙනි පඩිය ගත්ත දවස මේ ව ජීවිතේට කොච්චර නම් විශේශද කියල හැමෝම දන්නවා. මට ත් ඒ වගේ. අද තමයි පලවෙනි දවස. දෙවියන්ගෙන් ලැබුණු කරුනාවෙන් හෝ මගේ ජීවිතය පුරාවට කාටවත් හොරකම් කරන්න බැරි උන මගේ දැනුම හෝ මට පියවරක් ඉදිරියට තබන්න උදව් කලා. මං මගේ ජීවිතයෙන්ම තේරගත්ත දෙයක් තියෙනවා. අපිට පුලුවන් කාලයේ අපි ලගින් ගොඩාක් මිනිස්සු හිටියට අපිට බැරි කාලයේ හිටියේ ටික දෙනයි. හැබැයි අපි පටන්ගන්න වැඩේ අවන්කවම හොදට කරනවනම් අපිට මුහුණ දෙන්න ලේසියි. මේ තමයි අතර මග යන ගමන් මට මං ගැන හිතුන දේ. නින්දෙන් නොවුනත් නින්දෙන් ඇහැරුනා වගේ එක දිගට මං මගේම මතක මතක් කරන්නට උනා. අනේ ඒ මතක හරිම ලස්සනයි. ඒත් හීන බලන්න වෙලාව අඩුයි දැන් ආයෙත් නිදාගත්තොත් ඊලග බස් එක මග හැරෙන්න පුලුවන්. ඒ නිසා අවදියෙන් යන්න ඕනි. ජය වේවා. 


නයෝමි ශෂිකලා

හතර වසරේ මම

 


හතර වසරේ මම

        මම කියන්නෙ කවුද? කියල කියන්නයි මේ ලෑස්තිය. දවසක් මම කෙනෙක්ට කිව්ව ඔයා කවුද මොනාද කරන්නෙ ප්ලීස් මට ඔයාව අදුන්නල දෙන්න කියල. එයා මට කියනව මමත් දන්නෙ නැහැ මම කවුද කියල. මාත් තවම මම කවුද කියල හොයන ගමන් ඉන්නෙ කියල. ඔව් ඇත්තටම මමත් තාම මම කවුද කියල හොයනව. අපි හැමකෙනෙක් ම එහෙමයි. අපි කවුද? අපිට මොනවද කරන්න පුලුවන් කියල අපි හොයන්න ඕනි. 

    මම නයෝමි ශෂිකලා. ටයිටල් එකේ තියෙනව වගේ මම හතර වසරේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ. කාලෙ කොච්චර දිගද වාසනාව සහ මගේ උත්සහය කොච්චර ද කියනවනම් ඒක මාව ගෙනහල්ලා නැවැත්තුවේ මම උසස්පෙළ පන්තියෙ ඉදන් බල බලා හිටපු විශ්වවිද්‍යාලයට. මම ඒක පිළිගත්තෙ හරිම අකමැත්තෙන්. කොහොමද මම එහෙම කරන්නෙ. හැබැයි මම උත්සහ කළා. මගේ අකමැතිම පරිච්ඡේදය මම කැමැත්තක් කර ගත්තා. මම ආස දේවල්, මම ඉන්න කැමති විදිහ මම ම්ගේ අකමැති chapter එකට රසකාරක විදිහට එකතු කර ගත්තා. අද මම ඒ රසකාරක නිසාම ඒකට ඇලිලා දාල යන්න බැරි තරමටම. සරසවිය කියන්නෙ කොහේ උනත් එකයි. මම හතර වසරෙදිත් මගේ හිතට ඒක කියාගන්නව. බෑග් තඩිය කරේ එල්ලගෙන යන එකම සරසවිය නෙවෙයි. බෑග් තඩිය හිස් නොවෙන්න ඒකට පුරවගන්න ඕනෙ තරම් දේවල් තියෙනව. අල්ලපු වැටේ සරසවියට බෑග් තඩියක් ගෙනියන්න මට ඕනි උනේ නැහැ. හැබැයි බෑග් තඩිය පිරෙන්න මතක, සුන්දර මිනිස්සු, ලස්සන හිත්, ලස්සන මතක, නරක මතක ගොන්නක් මම අරන් යනව තව ටික කාලයකින්. 

               සරසවිය ජීවත් වෙන්න මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න ඉගැන්නුව. ඉතින් සරසවිය මට නරක මතක දුන්නෙ නැහැ. තියෙන නරක හොදට convert කරගන්න මම උත්සහ කළා. වසර හතරක ජීවිත මතක ගොන්නක් මම අරගෙන යන්න බලාගෙන ඉන්නවා. මං ඉගෙනගත්තා මම කවුද කියල. මට මොනවද පුලුවන් මට මොනවද බැරි කියල. මම කොතනින් කොයිවගේ කෙනෙක් වෙලාද සරසවියට ගියේ සරසවිය මට මාව වෙනස් විදියකට පෙන්නුව. පාට පාටින් මං මාව ඇදගත්තා.  ඉතින් සරසවිය මාව මටම මුණගැහුණු එකට ස්තූතියි නොකිය කොහොමද? 

නයෝමි ශෂිකලා

 කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 





2022. 11.20 ඉරිදා මව්බිම පුවත්පත පත්තරේ ගියා...

 


පත්තරේ ගියා...

    වචන කියන්නෙ අවස්තාව අනුව ගැලපෙන දෙයක්. හරියට ගීතයට අනුව නිර්මාණය වන තනුවක් වගේ. මේ ගෙවෙන්නෙ දුශ්කර ම කාල පරාසයක්. මිනිස්සු විතරක් නෙවෙයි අපි කතා බහ කරන මාධ්‍යත් අපහසුවෙන් ම ගෙවන කාලයක්. 

   වැඩ ඔක්කොම ඉවර වෙලා බස් එකේ කොනේ ම සීට් එකේ ඉදන් බොලිවුඩ් පන්නයේ ගීතයක් අහන්න ගත්තා. තරමක් වයස පුද්ගලයෙක් සිගමන් යදින්න ඇවිල්ලා තිබුණා. දොස්තරල මැරෙන්න නියමිතයි කියල කියපු තමන්ගෙ පුතාව බේරගන්න. පුතාගෙ වයස දන්නෙ නැති උනත් ඔහු තරමක් මැදිවියේ අයෙක් කියල හිතන්න පුලුවන්. ඒත් තාත්තා කීයක් හරි හොයා ගන්න බස්වල හිගාකනවා. තවත් දවසක "අම්මේ අර චොකලට් එක ඕනේ" පුංචි දරුවෙක් පැවසුවා. චොක්ලට් කොහොම කන්න ද චොක්ලට් බලන්නනම් පුලුවන් වේවි. ආර්ථිකය කොයිතරම් ආගාදයේද තියෙන්නෙ? රුපියල තිතටම අවප්‍රමාණය වෙද්දි හදවත වේගයෙන් ගැහෙන්නෙ ඒ නිසා. 

    මේව හිත හිතා බස් එකේ එන මට අම්මා කියල හදවතක් එක්ක සේව් කරපු නම්බරෙන් කොල් එකක් එනවා. හදිස්සියෙ ඒක ආන්සර් කරපු මට එහා පැත්තෙන් ඇහුනෙ "පුතේ පත්තරේ ගිහින්". මට ප්‍රශ්න ගොඩයි. කවද්ද?මොකක්ද? මාධ්‍යවේදීයෙක් වෙන්න පෙරුම් පුරන මට ඒක ලොකු දෙයක්. මං දැන් ඉන්නෙ අහසෙ තනියෙන් පියාඔන ෆීනික්ස් කුරුල්ලෙක් වගේ. පත්තරේක සීමිත ඉඩ ඇතුලෙ මටත් ඉඩක් වෙන් වුණා. මගේ වචන ගොඩ දෙනෙක් කියෙව්ව. කාලයක් තිස්සෙ තිබ්බ හීනයක් හැබෑ උනා. මේ පිටිපස්සෙ මට ශක්තියක් උන පිරිස බොහොමයි. ඔවුන් මාව විශ්වාසය නොකෙරුවා නම් මටත් මගේ වචනවල රහ වගේම වටිනාකමත් කිසිදිනෙක නොදැනේවි. ඉතින් ඔබ සැමට බොහෝම  ස්තූතියි. 


නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 

     



JANA GANA MANA

             

       JANA GANA MANA කියන්නෙ මලයාලම් සිනමා නිර්මාණයක්. Dijo Jose Antony මහතාගේ අධ්‍යක්ෂණයෙන් 2022දී මේ සිනමාපටය නිර්මාණය වේ. එය සත්‍යය වශයෙන් කෙරූ දේශපාලන ව්‍යාජත්වයේ කතාවයි. සත්‍ය අසත්‍ය කෙරූ අසත්‍ය තුළින් නවය ස්වරූපයක් සමාජගත කළ සමාජ යථාර්ථයයි. දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අපරාධකරුවන් පිරිසක්, විද්‍යාර්ථයින්ගේ සිතුවිලි දාමයෙන් ඇති වූ මහා යුද්ධය JANA GANA MANA වේ. සබා මරියම් ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සේවය කරන චරිතයකි. මහාචාර්යවරියකගේ භූමිකාවෙන් මිදී සිසුන් අතර තවත් සිසුවෙකු මෙන් සුහදශීලී වූ ඇය දූෂණය මරා දමා ඇති බව මාධ්‍ය තුළීන් මෙන් ම සමස්ත ඉන්දියාව තුළ ම වේගයෙන් ව්‍යාප්ත වේ. විශයට අමතරව ජීවිතය ඉගැන්වූ ඇය වෙනුවෙන් ඇගේ මරණය වෙනුවෙන් ඇගේ ශීෂ්‍යයන් පෙනී සිටී. ඔවුන් ඇගේ අනන්‍යතාවය බවට පත් වේ. බය නැති කර ඔවුන් තුළ සිටින විප්ලවවාදියා අවධි කරමින් විප්ලවයක් ආරම්භ කරයි. විප්ලවයට නායකත්වය ලබා දෙන්නේ ශීෂ්‍ය සංගමයේ සභාපති ගෞරී නම් තරුණිය විසිනි. ස්ත්‍රිය වනාහි පිරිමියාගේ යටත් වැසියකු බවට පිළිගැනීමක් පවතී. එහෙත් ගෞරී මෙන් ම ඇගේ ආචාර්යවරිය සබා ද වළලු දාන අතකට ද අසාධාණය හමුවේ එයට විරුද්ධ වීමට හැකියාවක් පවතින ඉව පෙන්වයි. ගෞරි සිනමාපටයේ අවහානය තෙක් ම තම ආචාර්යවරියගේ මරණය වෙනුවෙන් පෙනී සිටින අතර ම මහාචාර්ය සබා සිය ජීවිතයේ අවසානය තෙක් ම අසරණ දරුවෙකුගේ සරසවි සිහිනය වෙනුවෙන් පෙනී සිටී. අසාධාරණය වෙනුවෙන් කතා කරයි. ස්ත්‍රිය නම් ඇයයි. ඇයට ස්වාභාවිකව ම ලාලිත්‍ය මෙන් ම කාලිගේ ශක්තිය ද උරුමය. ශීෂ්‍ය විප්ලවයට පොලිසිය විසින් දරුණු ලෙස පහර දෙයි. නමුත් ඒ පොලිසිය ම සබාගේ ඝාතනයේ මිනීමරුවන් සොයන්නට ද ඉදිරිපත් වේ. දිගින් දිගට ම අපරාධකරුවන් සොයා ගිය පොලිස් නිලධාරීන් සබා දූෂණය කර මරා දැමූ අපරාධකරුවන් සොයා ගනී. සබාගේ මව පවා ඇයගේ දියණියට යුක්තිය ඉටු වූ බව මාධ්‍යයට පවසයි. කතාව දිගින් දිගට ම නරඹන ඔබට ද සබාය අනිවාර්යයෙන් ම යුක්තිය ඉටු වූ බව සිතෙනු ඇත. 

           අරවින්ද් ස්වාමිනාදන් නම් නීතිඥවරයා මේ අපරාධ නඩුවේ නීතිඥවරයා බවට පත් වේ. කතාව නව මාවතකට යොමු වන්නේ එතැන් සිටය. ඔහු සහය වන්නේ අපරාධකරුවන්ට ද මහාචාර්ය සබාට ද යන්න ප්‍රශ්නාර්ථයකි. එනමුත් ඔහු මිනිසාගේ මනස හා විශ්වාසයන් පිළිබඳව දිගින් දිගට ම ප්‍රශ්න කරමින් කතා කරයි. හිඩැස් තැන් ඇති තැනින් ඔීනෑම අයෙකුට ඇතුළට පැමිණිය හැකිය. හිස්තැන් ඇති නීතිය ද එවැන්නකි. නීතිය සැමට සාධාරණ නොවන්නේ නම් අපරාධකරුවන් සැගවී යාම පුදුමයට කරුණක් නොවේ. අසාධාරණයට විරුද්ධ වන කාන්තාව මෙන් ම තම වාසිය තකා කටයුතු කරනා කාන්තාව ද ස්ත්‍රීවාදී දෘෂ්ටියෙන් දැකිය හැකිය. ජාතික කාන්තා අයිතිය සුරැකීමේ සංගමයේ සභාපතිනිය පවා මෙම සිදුවීමෙන් කැළඹීමට පත් වූ බව ද යුක්තිය ලැබුණු බව ද සිය සමාජ මාධ්‍ය ගිණූම තුළ සටහන් කරයි. නමුත් මෙය ඉන්දියාවේ සිදු වූ පළමු දූෂණය නොවූ බැවින් එයට සංවේදී වූයේ එය ජාතික මාතෘකාවක් වූ බැවිනි. ඒ තමාට ද ප්‍රසිද්ධියක් හා කීර්තියක් ලැබීමේ අරමුණිනි. සබාගේ මව ද අධිකරණය ඉදිරියේ පවසන්නේ තමාගේ දියණියගේ අපරාධකරුවන් හසුවූ බව මාධ්‍යයේ තිබුණු බැවින් ඇය එය පිළිගන්නා බවයි. මාධ්‍යය යනු සත්‍ය ද? එය සැමවිටම සත්‍ය පමණක් ප්‍රකාශ කරන්නක් ද? එසේ නොවන නමුත් මාධ්‍ය ප්‍රකාශ කරනා අසත්‍ය සත්‍ය ලෙස පිළිගන්නට ජන මනස වෙනස් කරයි. මේ නිසා අර්බුධයෙන් හට ගන්නා ඔීනෑම අරගලයකදීඅරගලය පතුරවන්නේ ද එය විසඳී ඇති බවට දැනුම් දෙන්නේ ද මාධ්‍යයි. මාධ්‍ය ලැදි ජනයා එය තදින් විශ්වාස කරයි. මෙය මාධ්‍ය පුද්ගල මනස සමග කරනා පිලිකුල් සහගත ගණූදෙනුවකි. 
        කුලය, ජාතිය මත ශිෂ්‍යයන් අපහාසයට ලක් කරමින් ඔවුන්ගේ සිහින අගාධයේ පතුලට ම ගෙන යන ආචාර්යවරුන් ද සිටී. ඔවුන් මිථයාවේ ප්‍රතිමූර්තිය වේ. එය ශිෂ්‍යයකුටග් විනාශයට හේතු වූ අතර මේ සියලුම අසාධාරණ සැලසුම් සඳහා හේතු වේ. අවසානයේදී සබා දූෂණය වූවා නොව අනතුරකින් මිය ගිය බව ද එය බලයට කෑදර දේශපාලනඥයන් සිය ඡන්ද ගුණුඩුවක් ලෙස නිර්මාණය කරමින් පුවත් මැවූ බව ද හෙළි වේ. මාධ්‍ය කොහෙත් ම සැමවිට ම සත්‍ය හා සාධාරණ නොවේ. මේ නිසා එකිනෙකා කෙරෙහි මෙන් ම සමාජය ගැන ද සැලකිල්ලෙන් සිටීම අත්‍යවශය වේ. 

නයෝමි ශෂිකලා
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය.






ආදරයේ යුද්ධය

                 මිනිස්සු ආදරය, ගෞරවය වගේම විශ්වාස වෙනුවෙන් යුද්ධ කරනවා දැකලා තියෙනවද? මේක ආදරණීය යුද්ධයක් නෙවෙයි ආදරය නිසාම ඉපදුනු යුද්ධයක්...