මේ අතරමග කතා තීරුව මං ලියන්නේ ඔයාලට වගේම මගේ හිතටයි. සතියක් කියන්නෙ ලොකු කාලයක්. වෙනදටනම් සතිය ඇතුලත දවසක්, එකහමාරක් විවේක ගන්න මට මේ සතිය කියන්නේ වැඩ අධික කාර්‍යබහුල සතියක් උනා. කොටින්ම කියනවනම් ඒ මහන්සිය ගොඩක්ම දැනුනේ මගේ කකුල්වලට. ඇවිදල ඇවිදල හරිම මහන්සියෙන් ඉන්න මම කොළඹ යන ගමන් නින්දකට වැටිලා මහන්සි නිවා ගන්න තීරනය කලා. ඒත් එක්කම අම්මා කෙනෙකුයි පොඩි දරුවෝ දෙන්නෙකුයි මගේ බස් එකට නැග්ගා. ඒ අම්මා අහනවා කවුද දැන් තාත්තා ලගින් වාඩි වෙන්නේ කවුද මගේ ලගින් වාඩි වෙන්නේ. ලස්සන ගවුමක් ඇදල ඉදපු පුංචි දුව එකපාරටම අත් උස්සල කෑ ගහන්න ගත්තා මමයි කියලා. කවදත් තාත්තලට වැඩිපුරම ආදරේ දුවලනේ එහෙම නේද. මට මේ කතා බහ ටිකක් විශේශ උනා. ඉස්සර දවසක මගේ අම්මාත් මේ කතාවම ඇහුව. මේ පවුලේ එක කොල්ලයි එක කෙල්ලයි උනාට මගේ පවුලේ කෙල්ලෝ දෙන්නයි එක කොල්ලයි. ඉතින් අපේ අම්මා මෙහෙම අහන හැම වතාවකම තාත්තා ලග ඉදගන්න මටයි නංගිටයි දෙන්නටම ඕනි වෙනවා.
ඒත් තාත්තගේ ඔඩොක්කුවේ අපි දෙන්නටම ඉඩ නැහැනේ. ඒ උනාට තාත්තා කවදාවත් අපිට බැහැ කිව්වේ නැහැ ඒවගේ වෙලාවට තාත්තා කරන්නේ ඔලුව අතගාලා මාවයි නංගිවයි දෙන්නවම කකුල් දෙක උඩ තියාගන්න එක. අපිට හරිම සතුටුයි. හැබැයි කවදාවත් පොඩි බයක්වත් දැනෙන්නේ නැහැ. මොකද අපිට තාත්තාව ඒ තරම්ම විශ්වාස නිසා. තාත්තා ජීවත් උනේ මගේ කතාවෙ පිටු කිහිපයක විතරයි. ඒත් මේ දැන් ලියවෙන පිටුවෙත් තාත්තා ඉන්නවා. ඒ තමයි තාත්තා. ඉතින් තාත්තාගේම පිහිටයි.
නයෝමි ශෂිකලා.
No comments:
Post a Comment