Gangubai Kathiawadi 2022

              Gangubai Kathiawadi 2022 වර්ෂයේ සංජය ලීලා බන්සාලිගේ අලුත්ම සිනමාපටය විදිහට හදුන්වල දෙන්න පුලුවන්. බලල අවසන් කරපු සිනමා කෘතියක් ලියල අවසන් කරන්න හිතුනෙම ඒ කතා තේමාවෙ ආකර්ෂණීය බව නිසාමයි.ගණිකාවක් සම්බන්ධයෙන් ගෙතුනු මේ සිනමාපටය ඒ තරම්ම මගේ මතවාද අතර ඝට්ටනයක් ඇති කරන්න සමත් උනා. 



        





     ගංගුබායි කියන්නෙ මීට අවුරුදු 60කට විතර කලින් ඉන්දියාවේ කාමාතිපුරම් වල කාන්තාවන් වෙනුවෙන් ඇත්තටම සටන් කල යෝද කාන්තාවක් . ඇය ඉපදුනේ ලස්සන ගමක ගංගා විදිහට. ඇය මිය ගියේ කාමාතිපුරම්වල ප්‍රසිද්ධ වෘත්තිමය ගණිකාවක් වන ගංගුබායි  විදිහට. ගණිකාවක් වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය විදිහට තමයි හදුන්වන්නේ. ඇය ගණිකාවක් උනත් ඇය කාන්තාවක්. ගංගු වගේම ගංගුබායි නිර්මාණය වෙන්නෙත් සමාජයේ අවශ්‍යතා නිසාමයි.

"සද වගේ සුදු පාට එකක්ද?

වලාකුළු වගේ සුදු පාට එකක්ද?

කඩදාසි වගේ සුදු පාට එකක්ද?

සුදු රෝස වගේ සුදු පාට එකක්ද?

හිම වගේ සුදු පාට ....ලූණු වගේ සුදු පාට එකක්ද?

කිරි වගේ සුදු පාට එකක්ද?"

මොනවගේ සුදු සාරියක් ද මං තෝර ගන්න ඕනෙ?

"හංසයෙක් වගේ සුදු පාට එකක්."

හංසයා පිරිසිදුකමේ, ප්‍රේමයේ සංකේතයයි. ඇයට ලැබෙන ප්‍රේමයේ විශ්වාසය ඇගේ අලුත් සුදු සාරිය තරම්ම පිරිසිදුයි. 

      ගංගුබායිගෙ හොදම යෙහෙළිය කම්ලිගෙ මිනිය පවා ආදාහනකරුවන්ට බාර දෙන්නට පෙර ගංගු කියන්නේ කම්ලි කකුල් හොදින් ගැටගහන්න කියල. මිනිස්සුන්ගේ හිත් ගැන තියෙන විශ්වාසය ඒ තරම්ම බිදිල ගිහිල්ල කියලයි කියන්නෙ. 

              අවසානයකට දිය හැකි අර්ථවත්ම අවසානය මෙයයි. එයනම් කතාවම හකුලුවා දැනෙන්නට කීම බව මම විශ්වාසය කරමි. 

"ඇමතිතුමා කලු රෝස දැකල තියෙනවද?

එහෙම මල් තියෙනවද?

තියෙනවා.

වෙලාවක අපේ පැත්තට ඇවිල්ල යන්නකෝ

ඒවයි පිරුණු උද්‍යානයක්ම බලාගන්න පුලුවන් එතකොට. "



   





          රෝස උනත් දුකේම පිච්චි පිච්චී ඒ තුලම ඇලෙන කලට කලු බවට පත්වේවි. ඇගේ සටන සිද්ද උනේ ඒ කලු මල් වෙනුවෙන්. කලු රෝස මල් වෙනුවෙන්. ඇගේ පිහිට පතන උද්‍යානය ම වෙනුවෙන්. ඇගේ වෘත්තිය ඇති කරන්නෙ සමාජයම නම් ඇගේ අයිතිය වෙනුවෙන් ඇය සටන් වැදීමද සමාජයට ම විවිධ කෝණයෙන් දැකිය හැකිය. එසේම තවත් සමාජයක් තවත් ගංගුබායි කෙනෙකු  ද බිහි කරාවි.

නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිදයාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 


කොරෝනා තත්ත්වය හා මාධ්‍ය සංස්කෘතියේ ව්‍යාප්තිය........

                කොරෝනා තත්ත්වය හා මාධ්‍ය  සංස්කෘතියේ ව්‍යාප්තිය........




    වසංගත තත්වයන් යනු කිසියම් වසංගත රෝගයක් එකට ක් ඉක්මවා සමස්ත ලෝකයේම විශාල කලාපයක් වෙත පැතිර යාමයි.එබැවින් පුළුල් වන ගෝලීය කලාපයක රෝග ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාමට සිදුවේ.එසේම කෙටි කාලයක් තුළ විශාල පිරිසක් වෙත පැතිර යාම ද වසංගත තත්ත්වයක විශේෂ වූ ලක්ෂණයකි. කොරෝනා යනු වෛරස් කාණ්ඩයට එක් වූ මෙවැනි අලුත් ම පැතිර යන භයානක රෝගී තත්ත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයටවසර ගණනක් තුළ මානවයා මුහුණ දුන් මෙවැනි තත්ත්වයන් අතරින් භයානකම බලපෑමක් කළ හැකි තත්ත්වයක් ලෙස covid 19 හැඳින්විය හැකිය. මේ නිසා ඇඳිරි නීතිය, හදිසි නීතිය, නිරෝධායන නීතිය වැනි උත්සාහයන් වෛරස් තත්ත්වය පැතිරයාම පැතිරයාම පාලනයට යොදාගනී. 

                    රටක සිව්වන ආණ්ඩුව වන මාධ්‍ය මාධ්‍යයද හුද කලා වූ ග්‍රාහකයා වෙනුවෙන් පෙරට පැමිණි බවක් පෙනෙන්නට පවතී. පූර්ව කොරෝනා  සමයටත් වඩා මාධ්‍ය සිය න්‍යාය පත්‍රය තුළ තව තවත් ග්‍රාහකයා ඇඳ බැද තබාගන්නට ආකර්ෂණීය නිමාවන් යොදා ගනී.ඒ තුළ න්‍යාය පත්‍රයෙන් වැසුනු මාධ්‍ය සැඟවුණු වාණිජත්වය ඉටුකර ගැනීම අරමුණ වේ. මේ සත්‍ය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති ග්‍රාහකයා මාධ්‍යයෙන් මවන අරුමෝසම්  පැන්ටසි සංස්කෘතියට ගොදුරු වන අතර අර්ථ ශූන්‍ය, අර්ථ හරණය මෙන්ම අර්ථ විරහිත වූ මිනිසකු බිහි කරන්නට ද දායක වේ. සමස්ත ලෝකයම ගෝලීයකරණය වෙද්දි ගෝලීයකරණය වූ මාධ්‍ය බටහිරකරන සංස්කෘතිය දේශීය සංස්කෘතිය තුළට සමීප වීම මේ නිසා සිදු වූ අතර එය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍ය සංස්කෘතිය ලෙස හඳුන්වයි. 

            මානවයා වනාහි උපතේ සිට මිය යන තෙක්ම සංස්කෘතික හුරුපුරුදු පිළිබඳ ලැදියාවකින් කටයුතු කරනු ලබන සංස්කෘතික සත්වයෙකි. මාත් ඒ සංස්කෘතියට අනුගත වීමත් සමග සමග මිනිසා තුළ මෙතෙක් පැවැති සාහිත්‍යය, නීති රීති, සිරිත් විරිත්, ආචාරධර්ම , හුරුපුරුදු පද්ධතියක් වෙනස් වන්නට විය. මානව පරිණාමය හේතුවෙන් ඇඳුම් පැළඳුම් පැළඳුම් භාවිතයට හුරු වූ මානවයාගේ සිට අද දක්වා විවිධාකාර විලාසිතාවන් හා ඇඳුම් පැළඳුම් සඳහා කැමැත්තක් දක්වන්නට මාධ්‍ය ක්‍රියා කලාපය හේතු විය. විශේෂයෙන්ම මාධ්‍ය මඟින් මගින් විකාශය වන වාණිජමය පරමාර්ථයෙන් වෙළෙඳ දැන්වීම් ද විදේශීය ටෙලි නාට්‍යයක් ද ද මේ සඳහා හේතු වේ. එසේම මානවකයාගේ මානවකයාගේ ජීවිතයේ සෑම සුවිශේෂී මොහොතක්ම සමාජ මාධ්‍යට මුදා හරිමින් මාධ්‍ය සංස්කෘතික ගැතියන් බවට වර්තමානයේ දී පත්ව ඇත. මාධ්‍ය මිනිසාගේ මනස නව ආකාරයෙන් වෙනස් කර ඇති බැවින් සහජයෙන් මැවෙන පරිකල්පනීය චින්තන ශක්තිය මාධ්‍ය සංස්කෘතිය හේතුවෙන් අපතේ යයි. ඒ තුළින් මාධ්‍ය සන්දේශ යටිපෙළ යටි පෙළ කියවා ගැනීමට නොහැකි තරමේ විචාරශීලී බුද්ධියකින් තොර ග්‍රාහක පිරිසක් මාධ්‍ය සංස්කෘතිය මගින් නිර්මාණය කරයි. 

                 ශ්‍රී ලංකාව වැනි රටක පැවති ආචාර ආචාරවිධි පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී මාධ්‍ය මඟින් බටහිරකරණයට ගැති වූ ආකර්ෂණීය ආචාරවිධි පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දෛනික රාජකාරි රාජකාරී කටයුතුවලින් රාජකාරී කටයුතුවලින් නිදහස් වන මිනිසා මේවා කෙරෙහි තව තවත් සමීප වන අතර එය අධ්‍යාපනයේ සිට සියල්ල මාර්ගගත වීමටද හේතුවේ. 

                    එබැවින් පූර්ව කොරෝනා සමයට වඩා අප මේ දැන් වෙසෙන්නේ නූතන මාධ්‍ය, නව මාධ්‍ය, සමාජ මාධ්‍ය හා බැඳුණු මාධ්‍යකරණය වූ සංස්කෘතික යුගයක් තුළ බව කිව යුතුමය.



නයෝමි ශෂිකලා.

කොළඹ විශ්වවිද්‍යාලය,

ශ්‍රීපාලි මණ්ඩපය.


සමාජ මාධ්‍ය වගකීමෙන් තොරද?


 

                          සමාජ මාධ්‍ය වගකීමෙන් තොරද?

       

          සමාජ මාධ්‍ය නැතහොත් Social media කියන්නෙ භාවිතයකට වඩා ඇබ්බැහිවීමක් ලෙස හඳුන්වාදිය හැකිය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා තම තමන්ගේ දෛනික න්‍යාය පත්‍රය මාධ්‍යයට අවශ්‍ය ආකාරයෙන් හසුරුවාගනී. පුදුමය නම් ඔවුන් පවා ඒ බව නොදැන සිටීමයි. කෙසේ වෙතත් මේ වන විට සෑම අයෙකුම භාවිතා කරන facebook, Instergram, twitter, whatsapp, youtube වැනි අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් සන්නිවේදනය කරන සෑම මාධ්‍යයක් ම සමාජ මාධ්‍ය ගණයට අයත් වේ. පර්යේෂණ වාර්තාවන්ට අනුව 2022 ජනවාරි මස වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21. 54 ක් බව වාර්තා වී ඇත. ඉන් මිලියන 8.20ක ජනගහනයක් සමාජ මාධ්‍ය භාවිතා කර ඇත. පර්යේෂණ වාර්තා ආශ්‍රය කර ගැනීමෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයේ වැඩියක් මිස අඩුවක් නොවන බව දැක ගත හැකිය. 

          පරිශීලකයන් වැඩි වන තරමට සමාජ මාධ්‍ය භාවිතය සැබැවින්ම වගකීම් සහගත විය යුතුය. බාහිර වශයෙන් නියාමනය වීමක් සිදු නොවුන ද සමාජ මාධ්‍ය පරිශීලකයන් ස්වයං නියාමනයකට ලක් වීම වැදගත් වේ. මන්දයත් facebook, Instergram, twitter ගිණුම පෞද්ගලික වුව ද ඒවායේ බෙදාහරින මතයන් පොදුවේ සියලුදෙනා අතරම පැතිරිය හැකිය. එය පැවති මතවාදයන් වෙනස් කර නව මතවාදයන් සමාජගත කරන්නට, පැවති මතවාදයන් වර්ධනය කර නව ප්‍රතිරූපයක් ඇති කරන්නට ද හේතු වේ. නව මාධ්‍ය, සමාජ මාධ්‍ය යන කවර මාධ්‍යයක් වුව ද රටක සිව්වන ආණ්ඩුව බවට පත් වන්නේ එබැවිනි. පවත්නා අංශුවක තරම් දුර්මතයකට ගින්දරට පුලුන් එක්කලාක් මෙන් රටම ගිනි අවුලවන සිදුවීමක් විය හැකිය. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ලාංකේය සමාජයේ වර්තමානයේ සිට අනාගතය දෙස හැරී බැලීමේදී පෙනේ. සමාජ මාධ්‍ය යනු නිදහස් අදහස් ප්‍රකාශන මාධ්‍යකි. එහෙත් සමාජ මාධ්‍ය ගිණුම ඔබේ වූ පමණින් වගකීම් විරහිතව අසත්‍ය මතවාදයන් සටහන් කළ නොහැක. 

              ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් තුළ සිටින්නේ පුහුණුව ලැබූ වෘත්තීයමය මාධ්‍යවේදීන් පිරිසකි. එහෙත් සමාජ මාධ්‍ය පරිශීලකයන් ද පුහුණුවක් රහිත මාධ්‍යවේදීන් පිරිසක් බවට පත්වේ. එබැවින් ස්වයං වාරණයකින් මෙන්ම ස්වයං නියාමනයකින් යුතුව සත්‍ය මතවාදයන් තවත් අයෙකුගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයෙන් ප්‍රකාශය කිරීම අගනේය. එය සමාජයේ සාමාජිකයකු වශයෙන් මෙන් ම පුරවැසි මාධ්‍යවේදියෙකු වශයෙන් ද සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වගකීමකි. ඔවුන්ට එම වගකීමෙන් මිදිය නොහැකි බව ද කිව යුතුමය. 


නයෝමි ශෂිකලා

කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රීපාලි මණ්ඩපය



මාධ්‍ය ආක්‍රමණය කළ ළමා මනස

 

               මාධ්‍ය ආක්‍රමණය කළ ළමා මනස....

                  ළමයා කියන්නෙ වයස අවුරුදු 18 ට අඩු අයෙක්. දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ, සුනාමි විශේෂ සංවිධාන පනතින් ද දක්වා ඇත්තේ ඒ අයුරිනි. ජීව විද්‍යාත්මක වශයෙන් නම් ඔහු කායිකව, සමාජීයව පමණක් නොව මානසිකව ද පූර්ණ වශයෙන් වර්ධනය වී නොමැති අයෙක් ලෙස හඳුන්වයි.  එබැවින්හොඳ නරක පිළිබඳ විනිශ්චයකින් තොර අවධියක ලැබෙන සෑම දෙයක් ම ග්‍රහණය කර ගන්නට පෙළඹී ඇත. ඉන් වැඩි වශයෙන් ම වාසි වී ඇත්තේ මාධ්‍යයට බව පැහැදිලිව ම පෙනෙන්නට ඇති කරුණකි.  

      

         මාධ්‍ය ආචාරධර්ම පිළිබඳව වගකීමක් මෙන් ම වගවීමක් ද නොවුණු කල තම මතය ව්‍යාප්ත කිරීම මෙන්ම මන:කල්පිත ලෝකයක හිමිකරුවන් පිරිසක් නිර්මාණය කිරීම ද මාධ්‍යයෙන් සිදුවී තිබේ. වයසින් කුඩා වුව ද ක්‍රියාවෙන් හා අදහසින් වයසට වඩා වැඩිමහල් පෙනුමක් ළමයාට උරුම වන්නට මාධ්‍යයේ ක්‍රියාකලාපය සුවිශේෂී අයුරින් බලපායි. ඒ සඳහා ලාභ ලැබීමේ අරමුණින් මෙරටට ගෙන්වන විදේශීය ටෙලි නාට්‍ය මෙන් ම කාටුන් හේතු වේ. ලාංකේය සංස්කෘතියට වෙනස් සංස්කෘතියක්, හුරු පුරුදු පද්ධතියක් සමාජයට මේ ඔස්සේ දායාද වේ. මාධ්‍යයේ න්‍යායපත්‍රය ද ඒ අනුව සකසා ගෙන තිබේ. මේ නිසා කාටුන් සඳහා සවස 2. 00 සිට 6. 00 දක්වා මාධ්‍ය අවකාශය වෙන් කර පවතී. එබැවින් විශ්ලේෂණ වාර්තාවන්ට අනුව දරුවෙකු පැය 02ක් 03ක් රූපවාහිනිය ඉදිරියේ ගත කරයි. සතියකට අවම වශයෙන් පැය 25ක් පමණ ළමයා රූපවාහිනිය ඉදිරියේ ගෙවා දමයි. එය ළමා මනසට සැලකිය යුතු පමණින් බලපෑම් සිදු කරන්නට සමත් වී ඇත. 

         ඒ සඳහා මාධ්‍යයේ සැගවුණු වාණිජමය අරමුණු බලපායි. මේ බව නොදන්නා ළමයා මන:කල්පිත වීරයන් පිරිසක් සුපිරි වීරයන් බවට පත් කර ගනී. එසේම ඔවුන්ව අනුකරණය කිරීමෙන් කළහකාරී වීම, සටන් කිරීම්, වෙඩි තැබීම්, පහරදීම් මගින් අනෙකා විනාශ කිරීම සඳහා වැඩි රුචිකත්වයක් දක්වයි. ආහාර පුරුදු, ආචාරධර්ම, සිරිත් විරිත් සියල්ල මාධ්‍ය මගින් පෙන්වන දේ අනුව හැඩගස්වා ගනී. මේ නිසා විකෘති අනන්‍යතාවයක්  දැන් දැන් නිර්මාණය වෙමින් පවතී. එය සංස්කෘතික රටක් වන ශ්‍රී ලංකාවට බියකරු සිදුවීමක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙසේ මාධ්‍යයෙන් කුඩා කල සිටම විකෘති මනසක් ඇතිව සමාජගත වන වැඩිහිටියා ප්‍රචණ්ඩකාරී අයෙකු බවට පත් වේ. වංචා, දූෂණ, සොරකම් සමාජය තුළ වර්ධනය වන්නට එය හේතුවක් වෙයි. 

       සාහිත්‍යයට අනුව නම් අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වන්නේ ළමයායි. එබැවින් එහි සුන්දරත්වය තව තවත් ඔප් නංවන අන්තර්ගතයන් මිස අනාගතයේදී දුගදවත් සමාජයක් සඳහා හේතු වන අන්තර්ගතයන් නොපවතින්නේ නම් මැනවැයි සිනමි. එය රටක සිව්වන ආණ්ඩුව වන ජනමාධ්‍යයේ ම වගකීමක් නොවේද? 







නයෝමි ශෂිකලා

කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රීපාලි මණ්ඩපය


සංස්කෘතියේ මාධ්‍ය බලපෑම


          සංස්කෘතියේ මාධ්‍ය බලපෑම

                                          සංස්කෘතිය යනු ...

           සංස්කෘතිය යනු  සමස්ත මානවයාගේ සමාජ උරුමයක් ලෙස සැලකිය හැකිය. සංස්කෘතිය පිළිබඳ අර්ථ දැක්වීමේදී ජනප්‍රිය අදහස වන්නේ සංස්කෘතිය යනු වෙනස් නොවන ඓතිහාසික ප්‍රවාහයක් බවයි. එමෙන් ම තමන්ගේ සංස්කෘතිය අන් සංස්කෘතියට වඩා උසස් ලෙස පිළිගැනීමට ද ඔවුන් පෙළඹී සිටී. නමුත් සංස්කෘතිය යනු වෙනස් වීම පදනම් කරරගත් ආකල්ප, අදහස් හා චර්යාවන්ගෙන් යුත් ජීවන රටාවයි. 1861   "ප්‍රාථමික සංස්කෘතිය ” නම් ග්‍රන්ථයක් රචනා කරන බි්‍රතාන්‍ය මානව විද්‍යාඥ E. B Tylor ජර්මන් වචනයක් වන Kultur යන්න නිර්වචනය කරන ලද්දේ සමාජයේ සාමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නා වූත් පරිනත වූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාරධර්මයන්, නීතිය, සිරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්හි සංකීර්ණ සමස්තය මෙය ලෙසයි.Good Enough නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් පවතින බව හඳුනා ගනී. පළමුවෙන් ම සංස්කෘතියෙන් ප්‍රජාව තුළ පවතින ජීවන රටාවක් අර්ථවත් වේ. එනම් භෞතික හා සාමාජීය ක්‍රියා පිළිවෙලක් සමග ගොඩනැගෙන ක්‍රමානුකූල බවයි. අනෙක් අර්ථය නම් දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩනැගෙන බවයි. කෙසේ වෙතත් මෙහිදී සංස්කෘතිය පරපුරෙන් පරපුරට ගෙනයන වාහකය භාෂාව ලෙස පෙන්වා දේ. එසේම සංස්කෘතිය යනු ජීවිතය සාරවත් කරන මූලධර්මයයි. ඵමරාදජ සංස්කෘතිය සම්බන්ධ ලක්ෂණ 04ක් ගෙන හැර දක්වන්නේ මෙසේය. 


  1. එය පරපුරෙන් පරපුරට උගන්වනු ලැබේ.
  2. එය සමාජීය දෙයකි.
  3. සංස්කෘතිය සංකල්පමය වූ පරමාදර්ශී දෙයකි.
  4. එය තෘප්තිය ලබා දෙන්නකි. 
  5. සංස්කෘතිය අනුයෝජනශීලීය. 
  6. එය සමගිය ඇති කරවන සුලුය.

               මාක්ස්වාදී දෘෂ්ටිවාදයට අනුව සරලව ම සංස්කෘතිය යනු  "ර්‍සිය ඉතිහාසය තුළ මිනිසා විසින් අත්කර ගන්නා ලද සියලුම අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වටිනාකම්වල එකතුවකි.” ට්‍රොම්ස්කි පවසන ආකාරයෙන් සොබාදහම හෙවත් ප්‍රකෘතිය ලබාදුන් දේට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය සියල්ල සංස්කෘතියට අයත් වේ. නිෂ්පාදන ක්‍රියාවලියේ සරලම අවදියේ මිනිසා නිපදවූ උපකරන වන පොල්ල, හෙල්ල, දුන්න සහ ඊතලයේ සිට නූතන යන්ත්‍රසූත්‍ර දක්වාත්, සිරිත් විරිත්, කැටයම්, ආචාරධර්ම, නීතිරීති, කලාව, සදාචාරය, සිතුම් පැතුම්, මතවාද ආදී සියලු දේත් සමස්තයක් වශයෙන් සංස්කෘතියට අයත් වේ. ඒ අනුව පැරණි වැව්, දගැබ්, නටබුන්, මංමාවත්, ඉදිකිරීම්, යන්ත්‍රසූත්‍ර, උත්සව, කාඩ් යන මේ සියල්ලක්ම සංස්කෘතියේ අංගයක් බවට පත් වේ. 1951 දී සංස්කෘතිය පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයකදී A. L ක්‍රෝබර් හා ක්ලයිඩ් ක්ලඩෝන් යන මානව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සංස්කෘතිය යන සංකල්පයට එවකට විවිධාකාර නිර්වචන 164ක් පැවති බවයි. කෙසේ වෙතත් සංස්කෘතිය සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත නිර්වචනයක් නොමැත. 

  සංස්කෘතිය තුළ ප්‍රධාන බෙදීම් 03ක් දැකගත හැකිය. 

  • අදහස්
  • ධර්මතා 
  • භෞතික සංස්කෘතිය යනු මේවායි. 

අදහස් යනු අප සිතන දේය. එහෙත් වඩාත් වැදගත් වන්නේ අර්ථවත්ව සිතන අදහසයි. සමාජවල ස්වාභාවය අනුව අදහස් ද විවිධ වේ. 


 මාධ්‍ය සංස්කෘතිය යනු කුමක්ද….


  සංස්කෘතිය යනු තික ක්‍රියාවලියක් වේ. මේ නිසා සංස්කෘතියේ ස්වභාවය නිරන්තරයෙන්ම වෙනස් වේ. අතීතයේ දී ආචාර ධර්ම, සිරිත් විරිත්, වැඩිහිටියන්, ඇදහිලි විශ්වාස, නීති, කලාව යනාදී  සංස්කෘතිය සඳහා පදනම් විය. එහෙත්  වර්තමානයේ දී සම්පූර්ණයෙන්ම නොවූවත් යම් තරමින් ඔහු සංස්කෘතිය සාධක වෙනස් වී ඇති බව පෙනේ. ඒ සඳහා ජනමාධ්‍ය පුළුල් කාර්යභාරයක් ඉටු කරයි.

          ජනමාධ්‍ය  Mass media ලෙස හඳුන්වයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහයන් පවසන්නේ ජනමාධ්‍ය සංහතික මාධ්‍ය වශයෙන්ද හැඳින්විය හැකි බවයි. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත ප්‍රධාන ජනමාධ්‍යයන් ලෙස සැලකේ. අප දන්නා විදිහට  ජනමාධ්‍ය  කියන්නේ  තොරතුරක්, අදහසක් හෝ යම්කිසි දැනුමක් හුවමාරු කිරීමයි. එහෙත් ඊට අමතරව ජනමාධ්‍ය සංස්කෘතිය නවතාවයෙන් නිර්මාණය කිරීමක් සිදුකරනු ලබයි. අප එදිනෙදා පරිහරණය කරන ඇඳුම් පැළඳුම්, ආභරණ, ආහාරපාන, ගෘහභාණ්ඩ, විලාසිතාවන් තෝරා ගැනීමේදී ජනප්‍රිය සන්නාමයක් හෝ ජනප්‍රිය වෙළෙඳ ආයතනයකින් මිලදී ගැනීම සිදු කරන්නේ මේ නිසාවෙනි. මෙලෙස ජනප්‍රිය සන්නාමයන් හඳුන්වා දෙන්නේ ජනමාධ්‍යයි. ඒ සඳහා මාධ්‍ය විසින් විවිධාකාර උපක්‍රම භාවිතා කරන බවක් පෙනෙන්නට පවතී.

  •  බහුජන සංස්කෘතිය
  •  සංස්කෘතික ගෝලීයකරණය
  •  ජනප්‍රිය සංස්කෘතිය
  •  සංස්කෘතික අධිරාජ්‍යවාදය ජන මාධ්‍යයේ නව සංස්කෘතික ප්‍රවණතාවයන් ලෙස හැඳින්විය හැකිය.

     බහු ජන සංස්කෘතියේ උපරිම තලය ජනප්‍රිය සංස්කෘතියයි. ජනප්‍රිය සංස්කෘතිය තුළින් සිදුවන්නේ ජනප්‍රිය  නාමයේ සංස්කෘතික අංග වාණිජ පරමාර්ථයන් මත ජනමාධ්‍යයෙන් හුවමාරු කිරීමයි. ලෝකයම එක් ලෝක සංස්කෘතියක් බවට පත් කිරීම සංස්කෘතික ගෝලීයකරණය ලෙස හැඳින්විය හැකිය. එසේම සංස්කෘතික ආධිපත්‍යය තුළ පවතින්නේ මතවාදය හා සංස්කෘතිකමය මාර්ගවලින් ලබාගත් ආධිපත්‍ය හෝ පාලනයයි.  එබැවින් මේ වන විට  සංස්කෘතිය තුළට ජනමාධ්‍යයේ ද සහය ඇතිව නව අංගයන් සම්ප්‍රේෂණය වී ඇති බව පෙනේ.


    නයෝමි ශෂිකලා
   කොළඹ විශ්වවිද්‍යාලය
   ශ්‍රීපාලි මණ්ඩපය


ආශ්‍රිත ග්‍රන්ථ        
  • ගුණසේකර නිව්ටන්,  ගුවන්විදුලිය සහ මාධ්‍ය අධ්‍යයනය, ෆාස්ට් ප්‍රින්ටරි (ප්‍රයිවට්) ලිමිටඩ්.
  • ආචාර්ය වීරසිංහ ටියුඩර් සහ ආචාර්ය රාජපක්ෂ චන්ද්‍රසිරි, ජනමාධ්‍යවේදය, ගොඩගේ සහ සහෝදරයෝ.


            

             ඛේදයකින් හමාර වූ කින්නියාවේ කතාව....

                 

                   මේ වන විට නම් කින්නියාව නොදන්නා අයෙක් නොමැති තරම්. ඒ වෙනම රටක නොව ශ්‍රී ලංකාවේ ම ත්‍රීකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පාලම්පාරුවක් පෙරළීමෙන් කිහිපදෙනක් මාරයාට බිලි වීමත් සමගයි. මේ අතර පාසල් නිළ ඇදුමින් සැරසුණු මල් කැකුළු  කිහිපයක් ද ජල රකුසාගේ පහරට හසුවී සදහටම නිහඩ වුණා. වසරකට පසු ඔවුන් පොත් බෑගය එල්ලා ගෙන ලහි ලහියේ පාරුවට ගොඩවන්නට ඇත්තේ කෙතරම් සතුටින්ද?

                 ඒත් අවාසනාවන්ත ලෙස හදිසියේම පාරුව පෙරළිණි. ජීවිතය ගලවා ගන්නට කුඩා ශරීරයට දැරිය නොහැකි තරමේ බෑගයක් පැළද ඔවුන් වතුර මත කෙතරම් යුද වදින්නට ඇත්ද? ලාංකිකයා යනු ඉක්මනින් මුල අමතක වන ජාතියක් බව පිළිගැනීම ප්‍රසිද්ධ රහසකි . එවන් පසුබිමක තිබියදී ගිලීගිය ජීවිත මෙන්ම බේරාගත් ජීවිත ද මාධ්‍යයට හා  රජයට මෙන්ම  සමස්ත ලාංකිකයන්ට ම සති කිහිපයකින් අමතකව යාවි.

                   



                           කින්නියා ප්‍රදේශවාසීන්ගේ කඳුළු කතාව සිත් තුළ ඉතිරිව පවතිද්දී සියල්ල පෙර මෙන් නැවත ගලා යාම සිදුවේවි . පාලම්, මංමාවත්, අහස උසට ගොඩනැගිලි තව තවත් ඉදි වේවි. එහෙත් හෙට ලෝකය ජයගන්න අකුරු කරන්නට ගිය මල් කැකුළු යළිත් කිසිදා කින්නියාවට නොඒවි. මෙවැනි පාලම් තවත් අබලන් තත්වයේම පවතින්නට නොදීම සෑම රජයක ම වගකීමක් වේ. එමෙන් ම දරුවන් බොහෝමයක් දෙමාපියන් ඇතුළු  සමීපතමයන් සිටියදී අනතුරට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතිද්දී දරුවන් පිළිබඳ දෙමාපියන් තව තවත් සැලකිලිමත්ව සොයා බැලීම ද වැදගත් වේ.

                        සිදුවීමක් සිදු වූ පසුව ඒ ගැන කතා කිරීම පලක් නොවූවත් නැවත කිසිම මල් කැකුලකට හරිහමන් පාලමක් නොමැතිකමින් ජීවිතය අහිමි නොවේවායි පතමි.


           නයෝමි ශෂිකලා 

           කොළඹ විශ්වවිද්‍යාලය 

           ශ්‍රීපාලි මණ්ඩපය . 






සංහතික මාධ්‍යයේ ආරම්භය සහ විකාශනය

 

   සංහතික මාධ්‍යයේ ආරම්භය සහ විකාශනය................

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන්නන් අනිවාර්යයෙන් ම දැන සිටිය යුතු සංහතික මාධ්‍ය කියන්නේ මොකක්ද?18 වන සියවසට පෙර සිටි මානව සමාජය ජන සමාජයක් ( folk society ) වූ අතර සංහතික සමාජයක් ( mass society ) නොවීය. නූතන යුගයේ ආරම්භයත් සමඟ Massnes සංහතිකත්වය යන සංකල්පයේ යුරෝපය තුළ ආරම්භ වන්නට පටන් ගනී.

                 මුල්ම සංහතික මාධ්‍ය වන පුවත්පත බිහිවන්නට ප්‍රධාන වශයෙන් හේතු වූයේ චීනයේ සායිලූන් (Tsae Lun) නැමැති අන්තඃපුර සේවකයා විසින් කඩදාසි සොයා ගැනීමයි. ක්‍රිස්තු වර්ෂ 105දී මුල්වරට ඉවත ලන සේද ,කඩමාලු, ශාක පත්‍ර ,පන් වර්ග භාවිතයෙන් කඩදාසි නිපදවා තිබේ. කඩදාසිය සොයා ගැනීම මෙන්ම මුද්‍රණ යන්ත්‍රයේ ආරම්භයද සිදුවන්නේ චීන ජාතිකයන් අතිනි. ක්‍රිස්තු වර්ෂ 1038 දී ෂී ශෙන්ග් විසින් මාරු මාරු කළ හැකි පරිදි මැටියෙන් අච්චු අකුරු නිපදවීමට සමත් වී ඇත. පසුව මේ අකුරු දැවයෙන් නිර්මාණය කරයි. ලෝකයේ පැරණිම මුද්‍රණ ග්‍රන්ථය ලෙස සැළකෙන්නේ වජ සූත්‍රයයි. 

              17 වන ශත වර්ෂයේ දී ජර්මනියේ දී මුද්‍රිත පුවත්පතක් ලෙස Avvizo Relation, Order zeitung හැඳින්වේ. එසේම එංගලන්තයේ Weekly  News හා ප්‍රංශයේ La Gasette පුවත්පත ක්‍රමානුකූලව ප්‍රංශ රාජ්‍ය උවමනාවන් නියෝජනය කරන දේශපාලනික තොරතුරු ද ව්‍යාප්ත කරන්නට පටන් ගනී. අද වන විට පුවත්පත මිලදී ගැනීමෙන් තොරව Online හරහා පාඨකයනට කියවීමට අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා ස්මාර්ට් ජංගම දුරකථන සතුව විවිධාකාර apps තිබෙනු දැකිය හැක.

              19 වන සියවසේදී පමණ ගුවන්විදුලි මාධ්‍ය හැඳින්වීම සඳහා භාවිතා කරන ලද්දේ Wireless යන්නයි. කම්බි දිගේ සන්දේශයත් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීමට සමත් මාධ්‍යයක් එනම් මෝස් සංඥා ක්‍රමය සොයා ගන්නා ලදී. එහෙත් පසු කාලයේ දී රැහැන් රහිතව ගුවන්විදුලි තරංග භාවිතා කරමින් සන්දේශ යැවීම පිළිබඳව අධ්‍යයනය කරන්නට විය. හියුජන්ස් නැමැත්තා එක්තරා න්‍යායක් අනුව ආලෝක තරංග මාලාවක් අවකාශයට යොමු කිරීමෙන් පසුව එක් තැනක සිරි පණිවිඩය තවත් ස්ථානයකට යැවීමට හැකි බව පෙන්වා දෙන ලදී. ගුග්ලිමෝ මාර්කෝනි නැමැත්තෙකු තම පියාට අයත් වතුයායේ දී කළ අත්හදා බැලීම සාර්ථක වූයෙන් dot and dash හෙවත් තිත් සහ ඉරි ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉතාලි රජයට හඳුන්වා දීම ද ඔහු සමත් විය. 

                1897 දී පමණ මාර්කෝනි විසින් wireless signaling company පිහිටුවා ගන්නා ලදී. මෙකල ගුවන් විදුලිය ශ්‍රාවකයන්ට ශ්‍රවණය කළ හැකි වූයේ AM තරංග Amptitube  modulation මූලික කර ගනිමිනි. එඩ්වින් එච්. ආම්ස්ට්‍රෝන් මහතා සිදුකරන ලද අත්හදා බැලීමෙන් අනතුරුව FM හෙවත් Frequncy modulation තරංග හඳුන්වා දෙන ලදී. මෙතැන් සිට ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු වල හා ග්‍රහණයේ පැහැදිලි වෙනසක් සිදු වන්නට විය. වර්තමානයේ දී ගුවන් විදුලිය වෙනම උපාංගයක් ලෙස නොව ජංගම දුරකථනයේ අංගයක් බවට පත්ව ඇත. එසේම online online හරහා ද ශ්‍රවණය කිරීමට හැකියාව තිබේ. 

               19 වන සියවස අවසානය වන විට රූපවාහිනියෙ දැන්වීමට ලොව භාවිතා වූයේ Telectroscope සහ Electrical Telescope යන්නයි. 1900 වසරේදී  රුසියානු ජාතික භෞතික විද්‍යාඥයෙකු පැරිසියේ දී පැවති දේශනයකදී  ප්‍රංශ බසින් television යන නාමය භාවිතා කරන ලදී. Television යන්න tele (දුර) Vision (දැක්ම)යන ග්‍රීක වචන දෙක එක් කර සකස් කරගත් බව කර ගත් බව සඳහන් වේ. වර්තමානයේ දී ලොව පුරා ක්‍රියාත්මක වන දුරකථන සංඛ්‍යාවට වඩා වැඩි රූපවාහිනි යන්ත්‍ර සංඛ්‍යාවක් භාවිතා කරන බව සමීක්ෂණයෙන් සනාථ වී තිබේ. 1925 වසරේදී ස්කොට්ලන්ත ජාතික විදුලි ඉංජිනේරු ජෝන් ලොගී බෙයාඩ් ලන්ඩනයේ සන්නිවේදන උපකරණ කිහිපයක් තනා ප්‍රදර්ශනය කරන ලදී. කෙසේ වෙතත් අද වන විට රූපවාහිනිය ද Smart Tv බවට පත්ව ඇත.

පී. ඒ නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 



ආදරයේ යුද්ධය

                 මිනිස්සු ආදරය, ගෞරවය වගේම විශ්වාස වෙනුවෙන් යුද්ධ කරනවා දැකලා තියෙනවද? මේක ආදරණීය යුද්ධයක් නෙවෙයි ආදරය නිසාම ඉපදුනු යුද්ධයක්...