හමුදා සෙබලෙක්.....
කාලෙකට පස්සෙ එක චිත්‍රපටියක් මගේ හිතේ හොල්මන් කරන්න ගත්තා. කව්දද බලන්න ලැබෙන්නෙ කියල පුදුම විදිහට හෙව්වා. මගේ ජීවිතේ ඒ තරම්ම ආස කරපු film එකක් තවත් නැහැ. Amaran කවදාවත් නොදැකපු මුගුන්ද් වගේ වීර සෙබලෙක්ගේ සැබෑ ජීවිතය පාදක කර ගනිමින් ලියවුනු මේ සිනමාපටය සෙබලෙක්ගේ ජීවිතයට හොද උදාහරනයක්. සෙබලෙක්ට තමන්ගේ තුවක්කුව තමන්ගේ බිරිද/ පෙම්වතිය වගේ. ඒවගේම සෙබලෙක්ට පලමුව දෙවනුව තෙවනුවත් අවසානයටත් වටින්නේ රට. හැබැයි ඔයාට දැනෙයි කෙනෙක් රටට ආදරය කරන්න නම් තමාටම ආදරය කරල ඉන්න ඕන කියල. එහෙම නේද. හැබැයි රට කියන්නෙත් අපිමනම් තවත් උදාහරණ අවශයද? හිතන්න ඔබට බාරයි.
සෙබල මුගුන්ද් සහ මාමුට්ටි ( ඉන්දු රෙබේකා වර්ගේශ්වර්) එකිනෙකාට ආදරය කරන්න ගන්නවා. ඔවුන් විවාහ වෙනවා. මේ අතර සෙබල මුගුනද් හමුදා සේවයට බැදෙනවා. ඒ අතර ඔවුන්ට ලස්සන දුවක් ඉපදෙනවා. හශු,, නම තරම්ම ඇය පියකරු දියනියක්. සිනමාපටයේ ඒ කොටස වෙනකන් මම සිනමාපටයේ රසිකයෙක්. හැබැයි එතනින් පස්සේ එක එක ශොට් එකක් ගානේ මමයි අමරන් සිනමාපටයයි එක්කෙනෙක් උනා. ඒ කොහොමද මම මේ කියන කතාව කොච්චර දුරට ගැලපෙනවද කියල ඔයා හිතන්න. මේ කාරනාව නිසාම film එක කීප සැරයකටම නවත්තල කදුලු පිහිදගෙන ඉන්න මට සිද්ධ උනා. දන්නවද හශු තාත්තට ලියුම් ලියනකොට, වීඩියෝ කෝල් ගන්නකොට, ෆෝන් එකෙන් සිංදු කියනකෝට මං මගේ පුංචි කාලෙට ගියා.හශු තරම් පුංචි වයසෙදි මං මගේ තාත්තට ලියුම් ලිව්වා. අකුරු එකට එක ගැටගහල පැන්සලෙන් ලස්සනට ලියල යැවුවා. හැබැයි අකුරු ලියන්න යන්තම් ඉගෙන ගත්ත ඒ කාලෙ මම ලියපු දේවල් මගේ තාත්තට තේරුනාද කියන්න මං දන්නේ නැහැ.
ආ ඉස්සෙල්ලම කියන්නම් මං කවුද කියල. මම මීට කලින් ලිව්ව මං කවුද කියල ලිපියක්. ඉතින් ඒක කියවල ඔයාට මාව කැමති විදිහකට හන්දුන්වන්න පුලුවන්. ඒත් මම 2008 ක්‍රියාන්විතයේදී මිය ගිය අභීත සෙබලෙක්ගේ දුව. මම ඉපදෙන්න අම්මට අමාරු වෙද්දි තාත්තා මගේ අම්මා ලග ඉදියේ නැහැ. මම ඉපදිලා මාස ගානක් යනකන් තාත්තට මාව දකින්නවත් මගේ කට හඩ අහන්නවත් ලැබුනේ නැහැ. ඉස්සර අද වගේ නෙවෙයි. ගමටම තියෙන්නෙ එක ෆෝන් එකයි. හැබැයි මම ඉපදිලා මාස කීපයක් යද්දි තාත්තා ගෙදර ඇවිදින්. එදා මං තාත්තාව දැකල නොසෑහෙන්න අඩල තියෙනවා. මොකද කවදාවත් දැකපු නැති මගේ තාත්තාව මට එදා පෙනිල තියෙන්නෙ යකෙක් වගේ. ගෙදර හැම උපන්දිනේ දවසකම අපි බලන් හිටිය තාත්තා එනකං. ඒත් ලොකු වෙද්දි තේරුම් ගියා තාත්තා ඉන්නේ ඉක්මනට එන්න පුලුවන් තැනක නෙවේ කියල. එදා ඉදන් හැම උපන්දිනේකටම මම ෆෝන් එක රින් වෙනකම් බලා ගෙන් ඉන්නව. සරලවම රෑට තාත්තට ගාතා කියල වදින්නෙත් ෆෝන් එකෙන්. අම්මත් ඒ වගේ තාත්ත ගැන හොයල බලන්න, අනාගතේ සැලසුම් කරන්න එයාලට තිබ්බ එකම දේ කලින් ලියුම් ඊට පස්සේ ෆෝන් එක.
හැබැයි මේ සිනමාපටය එදා නොදැකපු දේ මට අද පෙන්නල දුන්නා. ඇත්තටම හශු වගේ මං ගෙදරට වෙලා තාත්තා කවද්ද එන්නේ අම්මේ කියල අහද්දි අයිශු වගේ මගේ අම්මා යෝධ ගැහැනියක් වෙලා තාත්තාවත් මාවත් බලා ගත්තා. ඒ දේ කොච්චර අමාරුද කියල මට දැනුනේ මේ සිනමාපටයෙන්. හදවතට කොයිතරම්නම් සමීප වුනාද කොයිතරම්නම් සංවේදීද ඒක විශිස්ට ගණයේ රංගනයක් කිව්වොත් මම සාධාරනයි. රණවිරුවෙක් කියන්නේ ජීවිතේට ආදරේ නැති කෙනෙක් නෙවේ. රණවිරුවෙක් හැමදාම තමන්ට තමන්ගේ පවුලට ආදරෙයි. ඒත් දන්නවද එයාට පවුලේ කෙනෙක්ගේ අවශයම අවස්තාවක් මග හැරුනත් කවදාවත් රටේ අවශයාතාවයක් මිස් වෙන්නේ නෑ. එයාල අපිට වඩා ඔයාල හැමෝටම ආදරය කරනවා. මොකද රට කියන්නේ ඔයා නෙවෙයි ඔයාල හැමෝම ඒක මතක තියාගන්න.මං ඔයාට හරි ආදරෙයි තාත්තේ. ජීවිතේ කවදාවත් ඇත්තට මට මේ වචන කියාගන්න බැරි උනා. හැබැයි මං මැරෙනකන්ම කියනවා. මං හරි ආදරෙයි.
නයෝමි ශශිකලා