මාධ්‍ය ආක්‍රමණය කළ ළමා මනස

 

               මාධ්‍ය ආක්‍රමණය කළ ළමා මනස....

                  ළමයා කියන්නෙ වයස අවුරුදු 18 ට අඩු අයෙක්. දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ, සුනාමි විශේෂ සංවිධාන පනතින් ද දක්වා ඇත්තේ ඒ අයුරිනි. ජීව විද්‍යාත්මක වශයෙන් නම් ඔහු කායිකව, සමාජීයව පමණක් නොව මානසිකව ද පූර්ණ වශයෙන් වර්ධනය වී නොමැති අයෙක් ලෙස හඳුන්වයි.  එබැවින්හොඳ නරක පිළිබඳ විනිශ්චයකින් තොර අවධියක ලැබෙන සෑම දෙයක් ම ග්‍රහණය කර ගන්නට පෙළඹී ඇත. ඉන් වැඩි වශයෙන් ම වාසි වී ඇත්තේ මාධ්‍යයට බව පැහැදිලිව ම පෙනෙන්නට ඇති කරුණකි.  

      

         මාධ්‍ය ආචාරධර්ම පිළිබඳව වගකීමක් මෙන් ම වගවීමක් ද නොවුණු කල තම මතය ව්‍යාප්ත කිරීම මෙන්ම මන:කල්පිත ලෝකයක හිමිකරුවන් පිරිසක් නිර්මාණය කිරීම ද මාධ්‍යයෙන් සිදුවී තිබේ. වයසින් කුඩා වුව ද ක්‍රියාවෙන් හා අදහසින් වයසට වඩා වැඩිමහල් පෙනුමක් ළමයාට උරුම වන්නට මාධ්‍යයේ ක්‍රියාකලාපය සුවිශේෂී අයුරින් බලපායි. ඒ සඳහා ලාභ ලැබීමේ අරමුණින් මෙරටට ගෙන්වන විදේශීය ටෙලි නාට්‍ය මෙන් ම කාටුන් හේතු වේ. ලාංකේය සංස්කෘතියට වෙනස් සංස්කෘතියක්, හුරු පුරුදු පද්ධතියක් සමාජයට මේ ඔස්සේ දායාද වේ. මාධ්‍යයේ න්‍යායපත්‍රය ද ඒ අනුව සකසා ගෙන තිබේ. මේ නිසා කාටුන් සඳහා සවස 2. 00 සිට 6. 00 දක්වා මාධ්‍ය අවකාශය වෙන් කර පවතී. එබැවින් විශ්ලේෂණ වාර්තාවන්ට අනුව දරුවෙකු පැය 02ක් 03ක් රූපවාහිනිය ඉදිරියේ ගත කරයි. සතියකට අවම වශයෙන් පැය 25ක් පමණ ළමයා රූපවාහිනිය ඉදිරියේ ගෙවා දමයි. එය ළමා මනසට සැලකිය යුතු පමණින් බලපෑම් සිදු කරන්නට සමත් වී ඇත. 

         ඒ සඳහා මාධ්‍යයේ සැගවුණු වාණිජමය අරමුණු බලපායි. මේ බව නොදන්නා ළමයා මන:කල්පිත වීරයන් පිරිසක් සුපිරි වීරයන් බවට පත් කර ගනී. එසේම ඔවුන්ව අනුකරණය කිරීමෙන් කළහකාරී වීම, සටන් කිරීම්, වෙඩි තැබීම්, පහරදීම් මගින් අනෙකා විනාශ කිරීම සඳහා වැඩි රුචිකත්වයක් දක්වයි. ආහාර පුරුදු, ආචාරධර්ම, සිරිත් විරිත් සියල්ල මාධ්‍ය මගින් පෙන්වන දේ අනුව හැඩගස්වා ගනී. මේ නිසා විකෘති අනන්‍යතාවයක්  දැන් දැන් නිර්මාණය වෙමින් පවතී. එය සංස්කෘතික රටක් වන ශ්‍රී ලංකාවට බියකරු සිදුවීමක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙසේ මාධ්‍යයෙන් කුඩා කල සිටම විකෘති මනසක් ඇතිව සමාජගත වන වැඩිහිටියා ප්‍රචණ්ඩකාරී අයෙකු බවට පත් වේ. වංචා, දූෂණ, සොරකම් සමාජය තුළ වර්ධනය වන්නට එය හේතුවක් වෙයි. 

       සාහිත්‍යයට අනුව නම් අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වන්නේ ළමයායි. එබැවින් එහි සුන්දරත්වය තව තවත් ඔප් නංවන අන්තර්ගතයන් මිස අනාගතයේදී දුගදවත් සමාජයක් සඳහා හේතු වන අන්තර්ගතයන් නොපවතින්නේ නම් මැනවැයි සිනමි. එය රටක සිව්වන ආණ්ඩුව වන ජනමාධ්‍යයේ ම වගකීමක් නොවේද? 







නයෝමි ශෂිකලා

කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රීපාලි මණ්ඩපය


පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...